🏳️🏳️🏳️කළු කුහරයේ අනිත්‍යය 🏳️🏳️🏳️🏳️
♣️♣️𝕿𝖍𝖊 𝖎𝖒𝖕𝖊𝖗𝖒𝖆𝖓𝖊𝖓𝖈𝖊 𝖔𝖋 𝖆 𝖇𝖑𝖆𝖈𝖐 𝖍𝖔𝖑𝖊♣️♣️
අපි කලින් එකෙන් hawking radiation එක ගැන කතා කලානේ💥
මීළඟට කළු කුහරය තුළ සිදු වන්නේ කුමක් දැයි බලමු. සිදුවීම් ක්‌ෂීතිජයෙන් ඇතුළට ඇදී ගිය ප්‍රති අංශුවල ඇති ඝෘණ ශක්‌තිය හේතුවෙන් කළු කුහරය තුළ ඇති ශක්‌තිය සෙමෙන් නමුත් ක්‍රමයෙන් වියෑකී යයි. ශක්‌තිය හීන වී යැමෙන් අදහස් කෙරෙන්නේ කළු කුහරයේ ස්‌කන්ධය සහ ප්‍රමාණය ද හීන වී යන බවයි (අයින්ස්‌ටයින්ට අනුව ශක්‌තිය සහ ස්‌කන්ධය එකිනෙකට තුල්‍ය වන නිසා)
හෝකින්ස් රේඩියේශන් එකෙහි අවසාන සම්ප්‍රයුක්‌තය වන්නේ කළු කුහරයෙන් නොකඩවා අංශු ප්‍රවාහයක් හෙවත් විකිරණයක් ගලා එන අතර ම කළු කුහරය තුළ ඇති පදාර්ථය ක්‍රමයෙන් හීන වී යැමයි. විශාල කළු කුහරයකට අදාළ ව නම් මේ ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු වන ක්‍රියාවකි. උදාහරණ ලෙස අප ගේ සූර්යයා ගත හොත් යම් හෙයකින් එහි විෂ්කම්භය කිලෝමීටර් 6කට වඩා සංකෝචනය වුව හොත් (අප ගේ සූර්යයාට අදාළ ස්‌වාෂිල්ඩ් අරය ආසන්න වශයෙන් මීටර 2,950කි) එය කළු කුහරයක් බවට පත් වේ. මේ මොහොතේ එය සිදු වුව හොත් එතැන් සිට හෝකිං ගේ විකිරණය නිසා මේ කළු කුහරය ක්‍රමයෙන් වැහැරෙන්නට පටන්ගනී. වසර 10*67කට පසුව (දහයේ බල 67කට පසුව, එනම් 1ට පසුව තවත් බින්දු 67ක් යෙදූ විට ලැබෙන කාලය වසරවලින් ගත් විට) එම කළු කුහරය සම්පූර්ණයෙන් වාෂ්ප වී ගොස් තිබෙනු ඇත. මේ කාලයේ විශාලත්වය දෙස බැලූ කල, මෙය අනන්ත කාලයක් යෑයි යමකුට සාධාරණව සිතිය හැකි ය. චක්‍රාවාටවල මධ්‍යයේ බොහෝ විට පිහිටා ඇති අති දැවැන්ත කළු කුහර ගැන සිතීමේ දී මේ කාලය තවදුරටත් බොහෝ සෙයින් දීර්ඝ වන බව පැහැදිලි ය.
එහෙත් පෙරදිග අපට අනන්තය යනු ගැටලුවක් නො වේ. ඒ අනුව විශාල දැවැන්ත කළු කුහරයක් වුව ද සදාතනික නැත. අනන්ත කාලයකට පසුව වුව මේ අවකාශ කාල වක්‍රයේ පිහිටි අසාමාන්‍යතාව (singularity) නැති වී යයි.
විශ්වයේ පවතින බලවත් ම එමෙන් ම දීර්ඝතම කාලයක් පැවතිය හැකි වස්‌තූන් වන කළු කුහරවලට වුව ද අවසානයේ දී අනිත්‍යතාවට යටත් වීමට සිදු වී නැති වී යැමට ලක් වන බව මෙයින් පෙනී යයි. එහෙත් ඒ වෙනුවට තවත් කළු කුහර අලුතෙන් ඇති විය හැකි ය. ඇති වෙමින් නැති වෙමින් යන සදාතනික ක්‍රියාවලියක විශ්වය ගැලී ඇත. එහි ආරම්භයක් තිබිය නො හැකි ය. අවසානයක් ද තිබිය නො හැකි ය. චක්‍රාකාර සදාතනික ක්‍රියාවලියක් පමණක් ම දක්‌නට ඇත.
💥කළු කුහර සංග්‍රාමය සහ කළු කුහර තොරතුරු විරුද්ධාභාසය💥
ස්‌ටීවන් හෝකිං සහ වර්තමානයේ අප අතර සිටින තවත් කීර්තිමත් භෞතික විද්‍යාඥයකු වන ලෙනාර්ඩ් සුස්‌කින් (Leonard Susskind) අතර දශක දෙකකටත් වැඩි කාලයක් මුළුල්ලේ පැවැති න්‍යායික තර්ක විතර්ක මාලාවක් කළු කුහර සංග්‍රාමය (black hole war) ලෙස හැඳින්වේ. මහාචාර්ය සුස්‌කින් මේ නමින් ම ග්‍රන්ථයක් ද එළි දක්‌වා ඇත.
හෝකිං ගේ මුල් මතය වූයේ යම් කිසිවක් (උදා : ආලෝක කිරණයක් හෝ අංශුවක්) කළු කුහරයක සිද්ධි ක්‌ෂීතිජයෙන් ඇතුළු වූ සැණින් එහි අන්තර්ගත ව තිබූ සියලු භෞතික තොරතුරු සැණෙකින් විනාශ වී යන බවත් එම තොරතුරු විශ්වයෙන් මැකී යන බවත් ය. හෝකිං විසින් ඉදිරිපත් කරන ලද මුල් ගණිතමය විසඳුම් තුළින් ද පෙනී ගියේ එය එසේ සිදු වන බවකි. ඒ අනුව කළු කුහරයෙන් පිටතට එන්නාක් මෙන් පෙනෙන, හෝකිං විකිරණය විශ්ලේෂණය කිරීම මඟින් කළු කුහරය තුළට ඇතුළු වූ දැහි තිබූ භෞතික තොරතුරු නැවත කියවීමක් කළ නො හැකි බව මෙයින් කියවේ.
මෙහි දී භෞතික තොරතුරු ලෙස හැඳින්වෙන්නේ යම් භෞතික පද්ධතියක් තුළ ගැබ් වී ඇති සියලු දත්ත ය. සම්භාව්‍ය භෞතික විද්‍යාවට අනුව මේ භෞතික තොරතුරු එම පද්ධතියේ ඇති එන්ට්‍රොපිය (entropy) මඟින් නිරූපණය වේ (👉 එන්ට්‍රොපිය කියන්නෙ තාපගති විද්‍යාවේ ඉගැන්වෙන මූලික තාපගතික ගුණයකි. යම් භෞතික පද්ධතියක ඇති අපිළිවෙළ එහි එන්ට්‍රොපි අගය මඟින් නිරූපණය වේ). ක්‌වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව යම් පද්ධතියක ඇති ක්‌වොන්ටම් තොරතුරු (quantum information), තරංග ශ්‍රිතය (wave function) මඟින් නිරූපණය වේ. මීට ඉහත අප සඳහන් කළ පරිදි, ක්‌වොන්ටම් පුංජ (quanta)වල භෞතික ගුණාංග මැනිය හැකි නිරවද්‍යතාවේ සීමාවක් තිබේ. තරංග ශ්‍රිතය (සමීකරණය) මඟින් ඉදිරිපත් කෙරෙන්නේ මේ ගුණාංගවල අගය පිහිටිය හැකි සම්භාවිතා පරාසයකි.
භෞතික විද්‍යාඥ ලෙනාර්ඩ් සුස්‌කින්, හෝකිං ගේ තොරතුරු විනාශ වීම පිළිබඳ මතය පිළිගත්තේ නැත. ඔහු ගේ තර්කය වූයේ එසේ භෞතික තොරතුරු අතුරුදන් වීම හෝ විනාශ වීම, භෞතික විද්‍යාවේ ස්‌ථාපිත න්‍යායක් වන 'තොරතුරු සංස්‌ථිතිය' (conservation of information) පිළිබඳ මූලධර්මයට පටහැනි බවයි. මේ මූලධර්මය සම්භාව්‍ය භෞතික විද්‍යාවේ මෙන් ම ක්‌වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ද එක ලෙස පිළිගැනෙන න්‍යායකි. භෞතික පද්ධතියක් තුළ අන්තර්ගත ව ඇති තොරතුරු අලුතින් මැවීමක් හෝ විනාශ කිරීමක් හෝ සිදු කළ නො හැකි බව මෙයින් කියවේ. ක්‌වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව ද තරංග ශ්‍රිතයක (wave function) එක් මොහොතක ඇති අගය මඟින් වෙනත් මොහොතක ඇති අගය තීරණය වේ. ඇත්තෙන් ම මේ තොරතුරු සංස්‌ථිතිය පිළිබඳ මූලධර්මය, තාපගති විද්‍යාවේ එන ශක්‌ති සංස්‌ථිතිය පිළිබඳ මූලධර්මයට ම ආනුශංගික වේ. එක්‌තරා ආකාරයකින් භෞතික තොරතුරු යනු ශක්‌තිය ම බවට තර්ක කළ හැකි ය යන්න මෙහි පදනමයි.
හෝකිං ගේ මුල් සෛද්ධාන්තික සමීකරණ මඟින් කියවුණු තොරතුරු විනාශ වීමත්, තොරතුරු සංස්‌ථිතිය පිළිබඳ පොදුවේ පිළිගත් මූලධර්මයට එමඟින් එල්ල වූ අභියෝගයත් 'කළු කුහර තොරතුරු විරුද්ධාභාසය' (black hole information paradox) ලෙස හැඳින්විණි. විරුද්ධාභාසයක් යනු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස පෙනී යන නමුත් එයින් එකක් හෝ වැරැදි යෑයි පැහැදිලි ව ඔප්පු කළ නො හැකි අවස්‌ථාවකි.
නෙදර්ලන්ත ජාතික භෞතික විද්‍යාඥයකු වන ජෙරල්ඩ් හූෆ්ට් (Gerard't Hooft) විසින් ඉදිරිපත් කරන ලද හෝලෝග්‍රෑම් මූලධර්මය (holographic principle) නම් ආකෘතිය තවදුරටත් වර්ධනය කිරීමෙන් ලෙනාර්ඩ් සුස්‌කින්, කළු කුහර තොරතුරු විරුද්ධාභාසයට නව විසඳුමක් එක් කළේ ය. මෙමඟින් ඔහු කළු කුහරයක් තුළ තොරතුරු විනාශ වීමක් සිදු නො වන බව පෙන්වා දුන්නේ ය. හෝලෝග්‍රෑම් මූලධර්මය මඟින් කියවෙන්නේ කළු කුහරය තුළට ඇතුළු වන සියල්ලේ තොරතුරු, සිද්ධි ක්‌ෂීතිජය මත නිර්මාණය වන හෝලෝග්‍රෑමයක් ලෙසින් පිටත සිටින නිරීක්‌ෂකයාට ලබාගත හැකි බවයි. සිද්ධි ක්‌ෂීතිජයේ සිට විහිදෙන හෝකිං විකිරණය මඟින් මේ හෝලෝග්‍රෑමයේ තොරතුරු පිටතට පැමිණිය හැකි ය. මේ අනුව කළු කුහරය තුළට ඇතුළු වූ සියල්ල එහි මධ්‍යයේ ඇති අසාමාන්‍යතාව (singularity) දෙසට ඇදී යන නමුත් ඒවායේ තොරතුරු කළු කුහරයේ කඩඉමේ පිහිටි සිද්ධි ක්‌ෂීතිජය මත ගබඩා වී රැඳෙයි.
හෝලෝග්‍රෑම් මූලධර්මය යනු ඇත්තෙන් ම තන්තු න්‍යාය (string theory) යනුවෙන් හැඳින්වෙන නව භෞතික විද්‍යා ක්‌ෂේත්‍රය යටතේ විස්‌තර කෙරෙන පොදු මූලධර්මයකි. හෝලෝග්‍රෑම් මූලධර්මය මඟින් කියවෙන්නේ ත්‍රිමාන අවකාශයක ඇති භෞතික පද්ධතියක සියලු තොරතුරු එම ත්‍රිමාන අවකාශයේ පිටතින් ඇති ද්විමාන කඩඉම මත ප්‍රක්‌ෂේපණය වී ඇති ලෙස සැලකිය හැකි බවයි. කළු කුහරයක් සඳහා මේ මූලධර්මය යෙදූ විට එහි ද්විමාන කඩඉම ලෙස සැලකිය හැක්‌කේ සිද්ධි ක්‌ෂීතිජයයි. මේ මූලධර්මය මුළු මහත් විශ්වයට ම එසේත් නැත්නම් විශ්වයේ අපට බැලිය හැකි කොටසට වුව යෙදිය හැකි ය. එවිට එහි ද්විමාන කඩඉම වන්නේ අපට බැලිය හැකි විශ්වයේ (observable universe) මායිම් ක්‌ෂීතිජයයි. මේ විශ්වයේ මායිම් ක්‌ෂීතිජයෙන් එහා ඇති කිසිවක් හෝ සිදු වන කිසිවක් පිළිබඳ කිසිදු තොරතුරක් අපට ලබාගත නො හැකි ය. එයට හේතුව මේ මායිමෙන් එහා දී විශ්වය (හෙවත් අවකාශ - කාලය) ප්‍රසාරණය වන වේගය ආලෝකයේ වේගයට වඩා වැඩි හෙයිනි.
ලෙනාර්ඩ් සුස්‌කින් යනු තන්තු න්‍යාය පිළිබඳ පුරෝගාමී විශේෂඥයෙකි. තන්තු න්‍යාය පිළිබඳ ව කෙටියෙන් විස්‌තර කර තොත්, එයින් කියවෙන්නේ භෞතික විද්‍යාවේ සාමාන්‍යයෙන් කියවෙන අංශු වෙනුවට ඒවා කුඩා ඒකමානික තන්තු කොටස් ලෙස විස්‌තර කිරීමට උත්සාහ දැරීමයි (උදාහරණ ලෙස කුඩා පණුවන් හෝ නූල් කැබලි ආකාරයෙන් සිහියට නඟා ගන්න). තන්තු න්‍යායේ විවිධාකාර ස්‌වරූප ගොඩ නඟා ඇත. පොදුවේ ගත හොත් මේ සියලු තන්තු න්‍යායන් ගෙන් උත්සාහ දරන්නේ සාම්ප්‍රදායික ඒක ලක්‌ෂ අංශූන් (උදා: ඉලෙක්‌ට්‍රොaන) වෙනුවට ඒක මානික තන්තු කොටස් අර්ථ දැක්‌වීමටත් එමෙන් ම එම තන්තු කොටස්‌වල කම්පනය වීමේ ස්‌වභාවය හා එකිනෙක තන්තු කොටස් අතර ඇති වන අන්තර් ක්‍රියා ආශ්‍රයෙන් විශ්වයේ මූලික ම බලයක් වන ගුරුත්වය විස්‌තර කිරීමටත් ය. එනම් ක්‌වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදයත් එක් කොට ඒ අනුසාරයෙන් ගුරුත්වය විස්‌තර කිරීමට උත්සාහ දැරීමයි (මෙය 'ක්‌වොන්ටම් ගුරුත්වය' ලෙස හැඳින්වේ). තන්තු න්‍යාය නූතන ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ නව පෙරමුණක් ලෙස හැඳින්විය හැකි ය. එනිසා ම එහි එන ඇතැම් සිද්ධාන්ත ගණිතානුකූල ව පූර්ණ ලෙස ඔප්පු කර නැති අතර ඇතැම් භෞතික විද්‍යාඥයන් තන්තු න්‍යාය නො පිළිගන්නා අවස්‌ථාවන් ද ඇත.
හෝකිංට අභියෝග කළ, එමෙන් ම තන්තු න්‍යායේ පුරෝගාමියකු වන ලෙනාර්ඩ් සුස්‌කින් ගැන යමක් ප්‍රකාශ කළ යුතු ය. අඩු වරප්‍රසාද සහිත ඇමෙරිකානු යුදෙව් පවුලකින් බිහි වූ සුස්‌කින් ගේ, පියා ජලනළ කාර්මිකයෙක් විය. පාසලේ දී අධ්‍යාපන කටයුතුවලින් දුර්වල ම ශිෂ්‍යයකු ලෙස හංවඩු ගැසුණු ඔහු වරක් 6 ශ්‍රේණියෙන් 5 ශ්‍රේණියට පහළට වැටුණේ ය. දිනපතා ම පාහේ විනය පිළිබඳ සිද්ධීන් හෝ අධ්‍යාපනය පිළිබඳ කරුණු නිසා හෝ පාසලෙන් තරවටු ලැබුවේ ය. මව හෝ පියා හෝ පාසලට කැඳවාගෙන එන ලෙස අණ කෙරුණු අවස්‌ථා අපමණ විය. එහෙත් එක කලෙක දී ගණිතය ගැන ඇල්මක් ඇති වූ ඔහු ගණිතයේ සංකීර්ණ කොටසක් වන කලනය තනි ව ම ඉගෙනගත්තේ ය.
වයස අවුරුදු 16 දී ම සුස්‌කින්ට ද ජලනළ කාර්මිකයකු ලෙස වැඩ කරන්නට සිදු වූයේ පවුලේ නැතිබැරිකම් නිසා ම ය. එහෙත් කුඩා අවධියේ කියවූ ඇතැම් පොත්පත් නිසා ම භෞතික විද්‍යාව ගැන ඇල්මක් ඇති කරගත් ඔහු ජලනළ කාර්මිකයෙක් ලෙස වැඩ කරන අතරතුර ම උසස් අධ්‍යාපනය ලබා ගැනීමට උනන්දු විය. මුලින් ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ඇරඹුවත් පසුව පූර්ණ කාලීනව ම භෞතික විද්‍යාව හැදෑරීමට ඔහු යොමු විය. කුඩා කාලයේ ඉතා ම හිතුවක්‌කාර කොලු ගැටයකු වූ ඔහු පසු කලෙක පවා ස්‌ටීවන් හෝකිං ඇතුළු ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයන්ට එළිපිට ම අභියෝග කරන්නට විය. ඒ නිසා ම සුස්‌කින් ට 'භෞතික විද්‍යාවේ නරක කොල්ලා' (the bad boy of Physics) ලෙස විරුදාවලියක් ද ලැබී ඇත. අද පවා ඔහු ගේ ප්‍රසිද්ධ දේශනවල දී ඇතැම් ප්‍රේක්‌ෂකයන් අසන ප්‍රශ්නවලට 'කට කැඩුණ' කතාවලින් පිළිතුරු ලැබෙන අවස්‌ථා ඇත. එහෙත් අතිශයින් ම ගැඹුරු භෞතික විද්‍යා කරුණු ඉතා ම සරල ලෙස පොදු මහජනයාට විස්‌තර කර දීමට ඇති හැකියාව අතින් ලෙනාර්ඩ් සුස්‌කින් අසමසම විද්‍යාධරයකු ලෙස හැඳින්වීම සාධාරණ ය. වරක් සුස්‌කින් ඔහු ගැන ම ප්‍රකාශ කළේ මෙසේ ය "මගේ මවත් පියාත් ඇතුළු අපි තුන් දෙනාට ම ඉන්ඩ තිබුණේ එක කාමරයයි ගෙදර. ඒ නිසා ම දවසේ වැඩි කොටසක් මම ගත කළේ මහපාරේ. අපි හිටපු වටපිටාවත් ආර්ථික තත්ත්වයත් එක්‌ක ඒ යුගයේ මට තෝරාගන්න පුළුවන් කියල පෙනුණේ විකල්ප දෙකයි. එක්‌කෝ කම්කරුවෙක් වෙන එක, එහෙම නැත්නම් පාතාල මැරයෙක් වෙන එක". අපහසු පවුල් පසුබිමකින් බිහි වී, දුර්වල පාසල් අධ්‍යාපනයක් නිම කර, ආර්ථික අපහසුතා පිරුණු තරුණ වියක් ද ගත කළ නමුත්, ඒ සියල්ල පසෙක ලා හුදෙකලාව ම නැඟිට ලෝකයේ දැවැන්තම භෞතික විද්‍යාධරයන්ට අභියෝග කොට ජයගත් මහාචාර්ය ලෙනාර්ඩ් සුස්‌කින් නම් වූ ඒ චරිතයෙන් උකහා ගත හැකි බලගතු ආදර්ශ අප බොහෝ දෙනෙකුට තිබිය හැකි ය.
සුස්‌කින්ට වඩා බොහෝ වෙනස් පවුල් පසුබිමකින් හෝකිං පැවත එයි. සෑහෙන දුරට වත්පොහොසත්කමින් යුතු, එමෙන් ම ඉතා ඉහළ අධ්‍යාපනයක් ලැබූ මවුපියන් ඔහුට සිටියේ ය. ඔහු ගේ මව ස්‌කොට්‌ලන්තයේ වෛද්‍ය පවුලකින් පැවත ආවා ය. පියා වෛද්‍යවරයකු වූ අතර පියා මෙන් ම මව ද ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයයෙන් උපාධි ලැබූවෝ වූහ. එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ්හි උපත ලැබූ හෝකින්ට උසස් අධ්‍යාපනය නිතැතින් ම මෙන් උරුම වූවක් විය. එහෙත් තරුණ වියේ දී ඇති වූ ස්‌නායු ආබාධයෙන් පක්‌ෂඝාත තත්ත්වයට පත් වීම හේතුවෙන්, රෝද පුටුවකට සීමා වී පසුකලක කටහඬ ද නැතිව ගියපසු, ලෝකය සමඟ සන්නිවේදනය කළේ ඉලෙක්‌ට්‍රොනික ශබ්දජනක උපකරණයක් ආධාරයෙනි. එහෙත් ඒ කිසිවකින් අධෛර්යවත් නො වූ ඔහු අවසානයේ දී අප ගේ යුගයේ කීර්තිමත් ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයා බවට පත් විය. ඔහු ගේ ආබාධිත තත්ත්වය ඇත්තෙන් ම ලොව වටා ඔහු ගේ ජනප්‍රියතාව තවත් වර්ධනය වීමට උපකාරී වූවා යෑයි කීම වඩාත් නිවැරදි ය. සුස්‌කින් ගේ මෙන් ම හෝකිං ගේ ජීවිත කතාවෙන් ද අප ගේ තරුණ පරපුරට උගත හැකි පාඩම් බොහෝ ය.
1981 වසරේ දී සැන්ෆ්‍රeන්සිස්‌කෝ නගරයේ දී හෝකිං සහ සුස්‌කින් අතර ඇරඹුණු කළු කුහර සංග්‍රාමය අවසන් වූයේ 2004 වසරේ අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේ දී ස්‌ටීවන් හෝකිං💥 පරාජය 💥භාර ගැනීමෙනි. එහි පැවති සම්මන්ත්‍රණයක දී විශේෂ දේශනයක් පවත්වමින් හෝකිං, කළු කුහරයක් තුළ දී තොරතුරු විනාශ වීම (හෝ සැඟවී යාම) සිදු නො වන බව පිළිගත්තේ ය. එහෙත් හෝකිං, සුස්‌කින් ගේ විසඳුම එක එල්ලේ ම පිළිගන්නවා වෙනුවට, ඔහු ගේ ම වෙනස් විසඳුමක් ඉදිරිපත් කරමින් ඝෘජුව ම පරාජය භාරගැනීමෙන් වැළකී සිටියේ ය. කෙසේ වුවත් සුස්‌කින්, හෝකින් පරදා කළු කුහර සංග්‍රාමය ජය ගත් බව භෞතික විද්‍යා ප්‍රජාවේ පොදු මතයයි.
ක්‌වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ ඒ හා සබැඳුණු තන්තු න්‍යාය සහ හොලෝග්‍රෑම් මූලධර්මය මඟින් ඉදිරිපත් කෙරෙන පැහැදිලි කිරීම් සාම්ප්‍රදායික බටහිර චින්තනයට සහ විශ්වාස පද්ධතිවලට දරාගත නො හැකි තරම් විස්‌මය ජනක ය. මේ අතර, කළු කුහරයක් තුළට ඇතුළු වන යමක් විරූපණය වී (හෝ පරිවර්තනය වී) යැමත් එහෙත් එහි භෞතික තොරතුරු සිද්ධි ක්‌ෂීතිජය මත තවදුරටත් රැඳී තිබී නැවත විශ්වයට නිකුත් වීමත් සමාන කළ හැක්‌කේ පෙරදිග දර්ශනවල ඉගැන්වෙන නැවත නැවත සිදු වන විනාශ වීම (එසේත් නැත හොත් පරිවර්තනය වීම) සහ ඉන්පසු නැවත නැවත වෙනත් ස්‌වරූපයකින් මතු වීම යන සංකල්පයට ය. මෙහි දී යළි පහළ වන ස්‌වරූපය එහි මුල් ස්‌වරූපයට සමාන නො වන බවත් එහෙත් එම මුල් ස්‌වරූපයෙන් සම්පූර්ණයෙන් ස්‌වායත්ත නො වන බවත් ඉගැන්වෙයි. කළු කුහරයක් තුළ දී තොරතුරු විනාශ නො වීමත්, කළු කුහරය තුළට ඇතුළු වූ යමක් (අංශුවක් /තන්තුවක් යෑයි කියමු) වෙනත් ස්‌වරූපයකින් හෝකිං විකිරණය ලෙස පිටතට නිකුත් වීමත් ඒ නිකුත් වන විකිරණයේ මුල් අංශුව සතු ව තිබූ තොරතුරු විනාශ වීමකින් තොර ව පැවතීමත් ඒ අනුව පෙරදිග දර්ශනවල ඉගැන්වෙන සංකල්පයට ඉතා අනුකූල ය.
අවසාන වශයෙන් මෙහි දී විශේෂයෙන් ප්‍රකාශ කළ යුතු යමක් ඇත. එනම් කළු කුහර සහ විශ්වයේ පැවැත්ම ඇතුළු දුරස්‌ථ භෞතික ක්‍රියාවලීන් පිළිබඳ ව අවබෝධ කරගැනීමට යැමේ දී අපට පැන නඟින බරපතළ ම ගැටලුවක් වන්නේ ඒවා අප එදිනෙදා අත්විඳින අත්දැකීම් රාමු ඔස්‌සේ තේරුම් ගැනීමට උත්සාහ දැරීමයි. උදාහරණ ලෙස විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් හෝ නිශ්චිත සීමාවක් හෝ නැතැයි යන සංකල්පය ගෙන බලමු. මෙය අපට තේරුම්ගැනීමට අපහසු ලෙස හැඟෙන්නේ අප ජීවත් වන සීමිත පරිසරය සහ සීමිත කාල රාමුව හේතුවෙනි. එහෙයින් ම ඕනෑ ම දෙයකට හෝ ක්‍රියාවලියකට හෝ ආරම්භයක් සහ අවසානයක් ද භෞතික සීමාවක් ද තිබිය යුතු ය යන්න අප ගේ මනසේ පැළපදියම් වී ඇත. එහෙත් එය එලෙසින් ම සමස්‌ත විශ්වයට බල පවත්වන නියාම ධර්මයක් නො වේ. ආලෝකයේ වේගයට ආසන්න වේගවලින් චලනය වන වස්‌තූන් සහ අංශුන් ගේ ක්‍රියාකාරිත්වය සහ හැසිරීම, එසේත් නැත්නම් පෘථිවියේ ගුරුත්වයට වඩා අතිශයින් ම අධික ගුරුත්වයක් සහිත වස්‌තූන් මත සිදු වන භෞතික ක්‍රියාකාරකම් වැනි දේවල් ද තේරුම්ගැනීම අපට දුෂ්කර වන්නේ මේ අයුරින් ම ය. නූතන තාරකා භෞතික විද්‍යාවේ දී මේ සඳහා ගණිතමය විසඳුම් මත ම ර¹ පැවතීමට සිදු ව ඇත්තේ ද මේ නිසා ම ය. එහෙත් ගණිතය ඉක්‌මවා ගිය දර්ශන තලයක් සහ බුද්ධියක් සහිත යම් සුවිශේෂී පුද්ගලයන්ට, ගණිත සංකේත සහ සමීකරණවලින් තොර ව වුව ද විශ්ව ධර්මතා වටහාගැනීමට හැකි ය යන්න මෙයින් ප්‍රතික්‌ෂේප නො වේ🏳️🏳️🏳️🏳

No comments:
Post a Comment